Press ESC to close

ලෝකයේ සුරක්ෂිතම Messaging සේවාව – Signal.

මේ වෙද්දි අපි පාවිච්චි කරන messaging apps වල ආරක්ෂාව ගැන ලෝකයේ ඉතාමත් උණුසුම් විදිහට කතා වෙනවා. විවිධ අවස්ථාවල සිදුවන data breaches, විවිධ රජයන්ට users ලගෙ තොරතුරු ලබාදීම් වගේ කරුණු හේතු කරගෙන තවදුරත් අපි පාවිච්චි කරන ප්‍රසිද්ධ Instant messaging(IM) සේවා අපිට විශ්වාස කරන්න පුළුවන්ද කියන එක කිහිප වතාවක් හිතන්න ඕන කාරණාවක්. මේ පිලිබඳ කතා කරන බොහෝ දෙනෙක් විශ්වාසයෙන් නිර්දේෂ කරන ලෝකයේ වඩාත්ම ආරක්ෂිත, විශ්වාසී IM සේවාවක් වන Signal ගැන අද කතා කරමු.

ඇත්තටම Signal කියන්නෙ අලුත් IM සේවාවක් නෙවෙයි. ඒක හඳුන්වල දීල අවුරුදු ගාණක් වෙනවා, නමුත් මෑත කාලයේ privacy පිලිබඳ ඇතුවුනු විශේෂ අවධානය නිසා මේ සේවාව පාවිච්චි කරන පිරිස විශාල වශයෙන් වැඩිවුනා.

Get Your Site Up with A2 Hosting

විශාල තාක්ෂණික සමාගමක් නොවන Signal ලාභ නොලබන සංවිධානයක් වශයෙන් පවත්වාගෙන යනවා. ඔවුන්ගෙ end-to-end encryption පහසුකම සහ ස්වාධීන ස්වරූපය නිසා ලෝකය පුරා ඉන්න සමාජ ක්‍රියාකරුවන්, hacker වරුන් සහ පෞද්ගලිකත්වය පිලිබඳ වැඩි අවධානයක් යොමු කරන පිරිස් අතර Signal අතිශය ජනප්‍රිය වුනා.

මේ අවුරුදු කිහිපයේදී Signal විසින් අලුතෙන් data centers වැනි තමන්ගෙ infrastructure වැඩි දියුණු කිරීමටත් අලුතෙන් එන users ල සඳහා වඩාත් හොඳ පහසුමක් රාශියකුත් හඳුන්වලා දෙන්න කටයුතු කරල තියනවා. Signal සේවාවට මුලින්ම පිරිස වැඩි වශයෙන් එන්න පටන් ගත්තෙ 2020 දි සිදුවුනු ඇමරිකානු කලු ජාතික George Floyd ගේ මරණයත් සමග ආරම්භ වුන ජාතිවාදී විරෝධී අරගල වලට සහය දක්වපු පිරිස් ඒ සේවාව පාවිච්චි කරන්න පටන් ගත්ත නිසයි. මොකද වෙනත් IM සේවාවන් වල දත්ත ඇමරිකානු රජයට ලබාගන්න හැකියාව ලේසියෙන්ම තිබුනා.

Signal කියන්නෙ නොමිලේ පාවිච්චි කරන්න පුලුවන් පෞද්ගලිකත්වය මූලික කරගත්ත messaging සහ voice calling සේවාවක්, ඒක Android, iOS දුරකථන වගේම Desktop පරිගණක වලටත් ලබාගන්න පුලුවන්. මේකට register වෙන්න ඔයාට අවශ්‍ය වෙන්නෙ දුරකථන අංකයක් විතරයි. තනි පුද්ගලයන්ට සහ group වශයෙන් text messages, voice calls වගේම video calls පවා මේ සේවාවෙන් ලබාගන්න පුලුවන්. තවත් පහසුකම් රාශියක් ඇතුලත්, ඒත් මේකෙ විශේෂයක් තියනවා, ඒ තමා Signal අතිෂයින්ම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම.

Signal මත සිදුවෙන සන්නිවේදනයන් end-to-end encryption ලෙස ආරක්ෂා කරලයි තියෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයන් අතර හුවමාරු වෙන පණිවිඩයන් ඒ පුද්ගලයන්ට හැර Signal සංවිධානයටවත් කියවන්න හැකියාවක් නෑ. කොටින්ම Signal වල භාවිතා වෙන stickers packs පවා විශේෂ encryption එකකට ලක් වෙනවා. ඒ වගේම Signal වල හැම software කොටසක්ම open source, ඒ නිසා ඕනම කෙනෙක්ට මේකෙ repository එක බලල ඒවගෙ සුරක්ෂිතතාව තහවුරු කරගන්න පුලුවන්.

කලින් සඳහන් කරා වගේ Signal විසින් සංවර්ධනය කරපු open source encryption protocol එක WhatsApp සහ Skype වගේ වෙනත් සමාගම් පවා පාවිච්චි කරනවා. නමුත් ඔවුන් Signal වලට වඩා metadata රැස් කරනව කියන එක දැන් තහවුරු වෙලා තියන දෙයක්. ඉතින් Signal කියන්නෙ පෞද්ගලිකත්වය පිලිබඳ අවධානයක් යොමු කරන කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් හොඳම සේවාවක්.

වෙනත් IM සේවා වගේ නෙවේ Signal වල privacy පහසුකම් encryption වලට වඩා එහාට විහිදෙනවා. ඔයා යවන messages යම්කිසි වෙලාවකට පස්සෙ නැති වෙලා යන්න Signal වල සැකසුම් හදන්න පුලුවන්, ඒ වගේම Signal තමන්ගෙ users ල පිලිබඳ කිසිම දත්තයක් රැස් කරන්නෙ නෑ. ඔයා පිලිබඳ මේ සේවාවට දෙන්න ඕන එකම තොරතුර දුරකථන අංකය විතරයි. නමුත් මේ වෙද්දිත් Signal විසින් අලුත් ක්‍රමයක් සංවර්ධනය කරගෙන යනව ඒ ලබාදෙන දුරකථනය අංකයත් user ගෙ account එකත් අතර තියන සම්බන්ධයත් encrypt කරන්න. මොකක් හරි නීතිමය පාර්ශවයක් විසින් Signal සංවිධානයට නියෝගයක් කරත් යම්කිසි user කෙනෙක්ගෙ දත්ත ලබාදෙන්න කියල, ඇත්තටම Signal සතුව එහෙම දෙන්න දත්තයක් නෑ. මෙහෙම සිදුවීම් Signal විසින් වාර්තා කරලත් තියනවා.

මේ විදිහට කිසිම දත්තයක් එකතු නොකිරීමට හේතුව තමයි Signal කියන්නෙ ලාභ නොලබන සංවිධානයක් වීම. ඒ හින්ඳ කිසිම වෙලඳ දැන්වීමක් පෙන්වන්න හෝ users ල track කරන්න හෝ අවශ්‍යතාවයක් Signal සංවිධානයට නෑ. ඒකෙ ක්‍රියාකාරිත්වයට අරමුදල් ලැබෙන්නෙ donations සහ පුද්ගලික ආයෝජකයින් විසිනුයි. 2008 දි කුඩා කණ්ඩායමක් විසින් ආරම්භ කරපු Signal පදනමට WhatsApp නිර්මාතෘ Brian Acton විසින් 2018 දි ඩොල‍ර් මිලියන 50 ක ප්‍රදානයක් සිදු කරා. ඒ Facebook විසින් WhatsApp මිලදී ගත්තට පස්සෙ සමාගමේ තීරණ පිලිබඳ ගැටුම් ඇති කරගෙන Acton සමාගමෙන් ඉවත් වීමෙන් පසුවයි. සැබෑ ලෙසම පෞද්ගලිකත්වය සුරකින messaging සේවාවක් ආරම්භ කිරීම සඳහා මෙලෙස ඔහු Signal එක්ක එකතු උනා කියල සඳහන් වෙනවා.

Signal සහ WhatsApp අතර වෙනස.

Signal සහ WhatsApp සේවා දෙකම end-to-end encrypted. ඒ කියන්නෙ ඔයා chat කරන හෝ call කරල සන්නිවේදනය කරගන්න දේ මේ කිසිම සේවාවක් දන්නේ නෑ. නමුත් WhatsApp වෙනත් දත්ත විශාල ප්‍රමාණයක් රැස් කරගන්නවා. උදාහරණ විදිහට ඒ අදාල සේවාව කොච්චරක් පාවිච්චි කරනවද, කාත් එක්කද සම්බන්ධ වෙන්නෙ, මූල්‍යමය තොරතුරු වගේ විශාල metadata ප්‍රමාණයක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි ගැන එකතු කරගන්නවා.

ලෝකයේ වගේම ලංකාවෙත් තවත් ප්‍රසිද්ධ IM සේවාවක් තමයි Telegram. Telegram ප්‍රකාශ කරත් ඔවුනුත් පෞද්ගලිකත්වය පිලිබඳ වැඩි අවධානයක් යොමු කරනව කියල ඒකෙ පොඩි අවාසි කිහිපයක් තියනවා. Telegram වල සාමාන්‍යයෙන් සිදු කරන chat, end-to-end encrypted නෑ. ඒක enable කරගන්න අවශ්‍යයි නම් අපිට විශේෂයෙන් “Secret Chat” කියන පහසුකම පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම Telegram වල තියන Groups වල ඉන්න පුලුවන් සාමාජිකයන් ප්‍රමාණයේ සීමාවක් නෑ. මේක එක වෙලාවකට වාසියක් වුනත් privacy අතින් එච්චර හොඳ දෙයක් විදිහට හුඟ දෙනෙක් දකින්නේ නෑ. ඒ වගේම මේ වගේ groups වල ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම් සහ පලිගැනීමේ අරමුණෙන් නිකුත් කරන ලිංගික දර්ශන වගේ දේවල් හුවමාරු වෙන නිසා ලෝකයේ සමහරක් පිරිස් ඇත්තටම Telegram ඔවුන් ප්‍රකාශ කරන තරම් සුභවාදීද කියල ප්‍රශ්න කරනවා. Signal වුනත් හුවමාරු වෙන content පාලනය කරන්නේ නෑ, නමුත් Signal වල group එකක උපරිම සාමාජික ප්‍රමාණය 1000යි. ඒ වගේම Signal භාවිතා කරන එකේ ප්‍රධාන අරමුණ වෙන්න ඕන තමන් දන්න පුද්ගලයන්ට ආරක්ෂිතව සම්බන්ධ වීමයි.

Apple App Store එකෙන් හරි Google Play Store එකෙන් හරි ලේසියෙන්ම Signal app එක තමන්ගෙ දුරකථනයට download කරගන්න පුලුවන්. ඊට පස්සෙ තමන්ගෙ දුරකථන අංකය ලබාදීල එන verification SMS එකේ තියන code එක ලබා දුන්නට පස්සෙ Signal account එකක් හදාගන්න පුලුවන්. ඊලඟට අපිට දැනටමත් Signal හා සම්බන්ධ contacts එක්ක ආරක්ෂිතව chat හෝ call කරන්න හැකියාව තියනවා. ඒ වගේම තමන්ගෙ contact list එකේ නැති අංකයක් වුනත් manually Signal app එකට ඇතුලත් කරල සම්බන්ධ කරගන්න පුලුවන්.

Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *