සුප්‍රකට Apple Inc. සමාගමේ මුලාරම්භකයින් වන Steve Jobs හා Steve Wozniak විසින් එක්ව නිර්මාණය කළ Koa දැවයෙන් ආවරණිත Apple-I පරිගණකයක් පසුගිය නොවැම්බර් 09 දින පැවැති වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් 400,000 කට (දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 81 ක් පමණ) අලෙවි වී ඇති බව Business Insider ආයතනය වාර්තා කරයි.
මෙම වෙන්දේසිය පැවැත්වූ John Moran සමාගම සිය වෙබ් අඩවියේ මේ Apple-I පරිගණකය සම්බන්ධව මෙලෙස සඳහන් කර ඇත.
“මෙම සිත් ඇදගන්නාසුළු ඓතිහාසික තාක්ෂණික මෙවලම, එවක කාල වකවානුවේ පැවති මුල් කොටස් සියල්ලක්ම පාහේ ඇතුළත්ව අලුත් සහ ක්‍රියාකාරී අනුපිළිවෙලට සකසා ඇත. Motherboard, Monitor සහ Keyboard උපාංග වලට අමතරව, Cassette Tape 2 ක්, වයර් 3 ක් සමඟ නියම පරිශීලක අත්පොතේ ඡායා පිටපත් වලින් සමන්විත වේ.”
“This fascinating piece of technological history is in mint condition, featuring many period-correct and original parts, and is in working order! In addition to the motherboard, monitor, and keyboard, this lot is equipped with 2 cassette tapes, 3 wires, and a period xerox-copy of the original owner’s manual.”
වෙන්දේසියේ සංවිධායකයන්ට අනුව, මෙම පරිගණකයට පෙර අයිතිකරුවන් දෙදෙනෙකු සිටි අතර, මුල් අයිතිකරු කැලිෆෝර්නියා හි Chaffey College විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධව ගුරුවරයෙක් ලෙස සේවය කළ මහාචාර්යවරයෙක් වූ අතර ඔහුගේ ක්‍රමලේඛන පාඨමාලාව හැදෑරු ශිෂ්‍යයෙක් තම ගුරුවරයාගෙන් අදාළ Apple-I පරිගණකය මිලට ගන්නා ලදී.
1976 අප්‍රේල් 11 දින ප්‍රථම වරට හඳුන්වා දුන් Apple-I පරිගණකය මුල් කාලයේදී ‘Apple Computer 1’ යන නාමය යටතේ එකල අලෙවි කරනු ලැබූ අතර එහි හඳුන්වා දීමේ මිල ඩොලර් 666.66 ක් විය. Motherboard/System Board ඒකකයක් ලෙස ලබා ගත හැකි වූ මෙම පරිගණකය සඳහා අවශ්‍ය Monitor හා Keyboard උපාංග වෙනමම මිලදී ගත යුතු විය. 4 KB RAM මතකයක් සහිත 8-bit MOS 6502 CPU එකකින් සමන්විත මෙම පරිගණකය 1 MHz ක clock speed සහිතව ක්‍රියා කරයි. සරල මෙහෙයුම් පද්ධතියකින් යුතු Apple-I පරිගණකයට අක්ෂර 40×24 පරාසයක දර්ශන Monitor හරහා ප්‍රතිදානය කිරීමට ද හැකියාව පවතී.
1977 දී Apple II පරිගණකය හඳුන්වා දෙන තෙක්ම Steve Wozniak සහ Steve Jobs විසින් එකලස් කරන ලද්දේ Apple-I පරිගණක ඒකක 200ක් පමණි. Steve Jobs ගේ දෙමාපියන්ට අයත් ගරාජයක් තුළ කුඩා කණ්ඩායමක ශ්‍රමයෙන් නිර්මාණය කළ මෙම පරිගණක සියල්ල අතින් නිමවූ ඒවා වන අතර බාහිර ආවරණය දැවයෙන් සාදා ඇත. ඉන් පරිගණක 6 ක් විශේෂයෙන් එකල බහුලව පැවති නමුත් වර්තමානයේ තරමක් දුලබ හා මිල අධික දැව විශේෂයක් වන Hawaiian Koa ශාකයේ දැවයෙන් ආවරණය සාදා ඇත. පසුගිය දා වෙන්දේසි වූ Apple-I පරිගණකය මෙවැනි Koa ලීයෙන් සෑදූ පරිගණකයක් වීම නිසා එය වඩාත් කැපී පෙනෙන සිදුවීමක් විය.
දැනට ලෝකයේ මෙවැනි Apple-I පරිගණක 60 ක් පමණ ඉතිරිව ඇති අතර ඉන් 20 ක් පමණ ක්‍රියාකාරී තත්ත්වයේ පවතී.
Leave a Reply