Home Tech News වසර 30ක් සපිරෙන Amazon සමාගම
Tech News

වසර 30ක් සපිරෙන Amazon සමාගම

Share
blank
Share

ඇමෙරිකාවේ ඇමේසන් සමාගම, ආරම්භ කරනු ලැබූයේ, 1994 ජූලි 05 වැනිදා. එනම් මීට අවුරුදු තිහකට කලින්. මෙසේ ඇමේසන් සමාගම ඇරඹියේ ඔන්ලයින් ක්‍රමයට පොත් විකුණනු පිණිසයි. අවසානයේ එය ඕනෑම දෙයක් විකුණන ඔන්ලයින් වෙබ් අඩවියක් වූවාක් සේම, (The Everything Store) ඔන්ලයින් වෙළෙඳාම හෙවත් ඔන්ලයින් ෂොපිං ක්‍රමය ලොවට හඳුන්වාදුන් පුරෝගාමී සමාගම වුණා. අද එය ලොව විශාලතම ඔන්ලයින් වෙළෙඳ සමාගම පමණක් නොව, ආදායම අනුව ගත් විට අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන ලොව විශාලතම සමාගමයි.

ලොව පුරා රටවල් 180කින්, ඇමේසන් ඔන්ලයින් ෂොපිං සේවය සමඟ සම්බන්ධ ක්‍රියාකාරී පාරිභෝගිකයින් ගණන මිලියන 310කි. එය හා සම්බන්ධවී භාණ්ඩ විකුණන වෙළෙන්දන් ගණන මිලියන දෙකකි. 2020 වසර හා සසඳන විට එය 45% ක වැඩිවීමක්. ඉන් පෙන්වන්නේ ඇමේසන් ඔන්ලයින් ෂොපිං සේවය, අන් තරගකරුවන් අභිබවමින් සිටින බවයි.

ඇමේසන් සමාගම ඔන්ලයින් ෂොපිං සේවයට අමතර වශයෙන් ඊළඟට ඇරඹි වෙළෙදාම වූයේ, වෙබ් අඩවි පවත්වා ගෙන යාම පිණිස අවශ්‍ය මෘදුකාංග සහ වෙබ් ඉඩ ලබාදීමයි. ඇමේසන් වෙබ් සර්විසස් නමින් 2002 වසරේදී ඇරඹි මෙම සමාගම, ඉන්පසුව ක්ලවුඩ් කොම්පියුටිං ක්‍රමයට විවිධ ආයතන වෙත තම තොරතුරු රඳවා ගැනීමට සහ වෙබ් අඩවි ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ඉඩ විකුණන සමාගමක් බවට පරිවර්තනය කෙරුණා.

අද ලොව තිබෙන මෙවැනි ක්ලවුඩ් සේවා සැපයුමෙන් 31% ක් සපුරන්නේ ඇමේසන් ක්ලවුඩ් සර්විසස් සමාගමෙන්. එහි තරගකරුවන් වෙන මයික්‍රොසොෆ්ට් ඇෂෝර් (Microsoft Azure) සතු වෙළෙඳපොළ පංගුව, 25% කි. ගූගල් ක්ලවුඩ් සතු වෙළෙඳපොළ පංගුව, 11% කි. මෙම ඇමේසන් ක්ලවුඩ් සර්විසස් සමාගමේ පසුගිය වසරේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 80ක්. ලාභය ඇමෙරිකානු ඩොලර් බිලියන 22.8ක්.

කඩදාසිවල මුද්‍රණය කළ පොත් කියවීම ලෝක සම්මත සම්ප්‍රදායක්. එහෙත් ඊට පිටින් ගොස් ඩිජිටල් තිරයකින් හෙවත් ඩිස්ප්ලේ එකකින් පොත් කියවීමේ සම්ප්‍රදාය ලෝකයට හඳුන්වා ඇමේසන්
සමාගයි. ඒ, 2007 නොවැම්බර් 19 වැනිදා Amazon Kindle ඉලෙක්ට්‍රොනික් පොත් කියවනය හෙවත් ඊබුක් රීඩර් උපාංගය වෙළෙඳ පොළට නිකුත් කරමිනි. Amazon Kindle ඊබුක් රීඩර් උපාංගය, විප්ලවීය සම්ප්‍රදායක් ලෝකයාට ගෙන ආවා. කඩදාසි මත පොත් මුද්‍රණය කිරීම කොතරම් විප්ලවීය වූවාද, ඒ තරමටම ඊබුක් රීඩර් උපාංගයෙන් පොත් කියවීමේ සම්ප්‍රදායද විප්ලවීයවී තිබෙනවා. අද, ඇමේසන් වෙබ් අඩවියෙන් මුද්‍රිත පොත් හතරක් විකුණන විට ඉන් එකක් ඊරීඩර් හරහා කියවිය හැකි ඉලෙක්ට්‍රොනික් පොතක්. Amazon Kindle හරහා දායකත්වය ලබා ගෙන පොත් කියවන සෙනඟ මිලියන 150ක් වෙනවා. අද ලෝක ඊරීඩර් වෙළෙඳපොළෙන් 72% ක් අයත් වෙන්නේ ඇමේසන් සමාගමටයි.

ලොව පළමු වරට ස්මාට් ස්පීකර් උපාංගයක් වෙළෙඳ පොළට නිකුත් කළ සමාගමද, ඇමේසන්ය. වසර 2014 නොවැම්බර් 06 වැනිදා වෙළෙඳපොළට නිකුත් කළ Amazon Echo එම උපාංග යයි. ස්මාට් ස්පීකරයක් කට හඬින් දෙන විධාන පිළිපදිනවා. වයි ෆයි, බ්ලූටූත් වැනි රුහැන් රහිත සන්නිවේදන තාක්ෂණික යෙදුම් සහිතයි. පරිගණක ජාලයකට හෝ අන්තර්ජාලයට හෝ සම්බන්ධ කර ක්‍රියාත්මක කරවන්න පුලුවන්. මයික්‍රොෆෝන්ද සහිත තවත් හඬ සංවේදක ගණනාවක්ද සහිතයි. මෙය ක්‍රියාත්මකවීම පිණිස විශේෂ පරිගණක වැඩසටහනක් අවශ්‍යයි. වර්චුවල් ඇසිස්ටන්ට් වැඩසටහන් වශයෙන් ඒවා හඳුන්වනවා. මෙසේ Amazon Echo උපාංගයේ ක්‍රියාත්මක වෙන්නේ ඇමේසන් ඇලෙක්සා වැඩසටහනයි.

මෙම ස්මාට් ස්පීකර් උපාංගය ජනප්‍රියවූ තැන, තවත් තරගකාරී නිපැයුම් වෙළෙඳ පොළට නිකුත් කෙරුණා. වසර 2016 නොවැම්බර් 08 වැනිදා, ගූගල් සමාගම ගූගල් හෝම් උපාංගය වෙළෙඳ පොළට එවීය. දැන් එය ගූගල් නෙස්ට් ලෙස හඳුන්වනවා. ගූගල් නෙස්ට් ක්‍රියාත්මක වෙන්නේ කට හඬින් දෙන විධාන පිළිපදින ගූගල් ඇසිස්ටන්ට් නම් වැඩසටහන මඟින්. ඇපල් සමාගම 2018 පෙබරවාරි 09 වැනිදා ඇපල් හෝම් පොඩ් නමින් සිය ස්මාට් ස්පීකර් උපාංගය වෙළෙඳ පොළට එවුවා. එහි ක්‍රියාත්මක වෙන්නේ සිරි වර්චුවල් ඇසිස්ටන්ට් වැඩසටහනයි.

මේවාට අමතරව තවත් විවිධ සමාගම් විසින් ඉදිරිපත් කර ඇති ස්මාට් ස්පීකර්වලින්ද යුක්තව අද ලොව ස්මාට් ස්පීකර් වෙළෙඳ පොළක් නිමැවී තිබෙනවා. ඉන් 28.2% ක් ඇමේසන් සමාගමටද, 17.2%ක් ගූගල් සමාගමටද, 12.7% ක් ඇපල් සමාගමටද අයත් වෙනවා. ඇමේසන් සමාගම පමණක් 2022 වසරේදී වෙළෙඳ නිකුත් කර ඇති Amazon Echo ස්මාට් ස්පීකර් ගණන මිලියන 100කි. මේ සියල්ල සමඟින් අද ලොව ස්මාට් ස්පීකර් වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක්. එය වසරක් පාසා 22% කින් වර්ධනය වෙමින් තිබෙනවා.

ඇමේසන් ප්‍රයිම් වීඩියෝ නම් දායකත්වය ලබා ගෙන චිත්‍රපට සහ රූපවාහිනි මාධ්‍යයේ වැඩසටහන් නැරඹිය හැක සේවය, ලොව බොහෝ ප්‍රකටයි. එය අද සැලකෙන්නේ, ගූගල් සහ ෆේස්බුක් යන සමාගම් හැරුණු විට ලොව වැඩිම වෙළෙඳ දැන්වීම් ආදායමක් ඇති සමාගම වශයෙන්. ලොවපුරා මිලියන 230ක් දෙනා ප්‍රයිම්වී ඩියෝහි දායකයෝ වෙනවා.

පහළ පෘථිවි කක්ෂයක (LEO Low Earth Orbit) රඳවන චන්ද්‍රිකා පිරිවරක උදව්වෙන් පොළොවට අන්තර්ජාල සම්බන්ධතාව ලබා දෙන සේවය, ඇමේසන් සමාගමේ අලුත්ම සේවයයි. ඇමේසන් සමාගම විසින් දියත් කරන්නට සැලසුම් කර තිබෙන කූපර් ප්‍රොජෙක්ට් නම් මෙම සේවය, චන්ද්‍රිකා 3236 කින් යුත් ජාලයක්. අදියර කීපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත කූපර් ප්‍රොජෙක්ට්හි පළමු අදියර ඇරඹෙන්නේ චන්ද්‍රිකා 578ක් කක්ෂගත කළ විටයි. පසුගිය 2023 ඔක්තෝබර් 06 වැනිදා චන්ද්‍රිකා දෙකක් කක්ෂගත කරමින් දැන් මෙම ව්‍යාපෘතිය අරඹා තිබෙනවා. එය 2029 වෙන විට සේවය අරඹනු ඇතැයි අපේක්ෂිතයි.

ඇමේසන් සමාගම මෙම පුරෝගාමී නිෂ්පාදන එළි දැක්වූවාට අමතර වශයෙන් තවත් ව්‍යාපාර ගණනාවක තිරත වෙනවා. විවිධ සේවා සපයන සමාගම් 40ක් පමණ ඇමේසන් මව් සමාගම හා සම්බන්ධයි. ස්මාට්හෝම් උපාංග නිපදවන රිංග් සමාගම, ඔන්ලයින් ලයිව් ක්‍රමයට වීඩියෝ ක්‍රීඩා සහ වෙනත් වීඩියෝ සපයන ට්විච් සමාගම, ස්වයංක්‍රීයව ධාවනය වෙන වාහන හෙවත් රොබෝ ටැක්සි නිපදවන සූක්ස් සමාගම, (zoox.com) කියවීම රෙකෝඩ් කර කට හඬින් ඉදිරිපත් කරන පොත් හෙවත් ඕඩියෝ බුක්ස් සපයන ඕඩිබල් සමාගම, (audible.com) විරල ඝනයේ පොත්පත්, කලාකෘති යනාදිය විකුණන ඒබ් බුක්ස් සමාගම, (abebooks.com) ගෙදරදොර පරිහරණයට සුදුසු රොබෝ වර්ගයේ උපාංග සාදන අයිරොබෝ සමාගම (irobot.com) යනාදිය එම සමාගම් අතර ප්‍රකට ඒවා.

ඇමේසන් වෙළෙඳාම මෙසේ ක්‍රියාත්මක ඇමේසන් සමාගම, ඩොලර් ට්‍රිලියන දෙකක හෙවත් බිලියන දෙදහසක වෙළෙඳපොළ වටිනාකමක් ඇති, ලෝකයේ වැඩිම ආදායම් ලබන සමාගම් අතර හතර වැනි තැන ඇති සමාගමයි. පසුගිය 2023 වසරේදී ඇමේසන් සමාගමේ ආදායම ඩොලර් බිලියන 746ක් පමණ උනා. ඇමේසන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ඇමෙරිකානු ඩොලර් බිලියන 202ක වත්කමක් ඇතිව සිටින, ලොව දෙවැනියට පොහොසත්ම තැනැත්තායි. ඔහු අදින් අවුරුදු තිහකට කලින් ඇමේසන් සමාගම ආරම්භ කළේ, සිය ගරාජයේ සකසාගත් කාර්යාලයක සිටිමින්, ඩොලර් දස දහසක ආයෝජනයක් ඇතිවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...