Press ESC to close

Wikipediaවට විසි වසරයි…

Wikipedia වෙබ් විශ්වකෝෂය මෙම වසරේ තම විසිවන සංවත්සරය සමරයි. 2001 ජනවාරි 15 ​​වන දින ජිමී වේල්ස් සහ ලැරී සැන්ගර් ගේ අදහසක් ලෙස දියත් කළ මෙම අනගි ව්‍යාපෘතියේ අරමුණ වූයේ ලෝකවාසී සෑම කෙනෙක්ට නොමිලේ, බාධාවකින් තොරව දැනුම ලබාගැනීම අවකාශය සැලසීමයි.

සැන්ගර් ගේ යෝජනාවක් අනුව “Wiki” සහ “Encyclopedia” යන වදන් දෙකෙහි සම්මිශ්‍රණයක් ලෙස Wikipedia නම් කරන ලදී. “Wiki” යනු හවායි භාෂාවෙන් “ඉක්මන්” යන්නයි. වර්තමානයේ මෙම විශ්වකෝෂයේ වැඩිදියුණු කීරීම් සඳහා භාරකාරත්වය දරන්නේ Wikimedia Foundation යන ලාබ-නොලබන ආයතනයයි.

Get Your Site Up with A2 Hosting

Wikipedia වල මූලාරම්භය සිදුවන්නේ එකල පැවැති NuPedia විශ්වකෝෂයේ අතිරේක ව්‍යාපෘතියක් ලෙසයි. ඒ NuPedia සඳහා වේගවත්ව සංවර්ධනය කළ හැකි, නිතරම යාවත්කාලීන වන දැනුම් තොරතුරු සහිත මූලාශ්‍රයක් ලෙස ඉලක්ක කරගත් Wikipedia ව්‍යාපෘතිය, ආරම්භයේදී ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සමන්විත විය. නමුත් කාලයත් සමඟ වෙනත් භාෂාවල අනුවාදයන් ද ඇතුලත්ව Wikipedia විශ්වකෝෂය ඉක්මනින් සංවර්ධනය විය. දැනට භාෂා 300 කට වඩා ප්‍රමාණයකින් තොරතුරු අන්තර්ගත වන Wikipedia අඩවි පවතින අතර හි සිංහල අනුවාදය සහිත අඩවිය ද මේ අතර පවතී. ඉංග්‍රීසි Wikipedia අඩවිය මෙම යටත් Wikipedia විශ්වකෝෂ අතුරින් විශාලතම තොරතුරු එකතුව වන අතර දැනට එහි ලිපි මිලියන 6.2 ක් පමණ ඇත. සමස්තයක් වශයෙන්, ලිපි මිලියන 55 කට වඩා Wikipedia අඩවිය තුළ අන්තර්ගත වන අතර, මසකට පරිශීලකයන් බිලියන 1.7 පමණ මෙම වෙබ් අඩවිය වෙත පැමිණේ. en.wikipedia.org වෙබ් අඩවිය නවතම Alexa ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව 15 වැනියට වැඩිම පිරිසක් පැමිණෙන වෙබ් අඩවිය ලෙස වාර්තා වේ.

Wikipedia විශ්වකෝෂය ලොව ඕනෑම කෙනෙකුට සංස්කරණය කළ හැකි අතර එම සංස්කරණ වල නිරවද්‍යතාව හා අපක්ෂපාතී බව තහවුරු කිරීමට වෙනම පරිපාලකයින් පිරිසක් සිටී. මෙම සංස්කාරකයන් හා පරිපාලකයන් ස්වේච්ඡාවෙන් Wikipedia විශ්වකෝෂ අඩවියේ දියුණුව කෙරෙහි දායක වෙයි. ලාබ-නොලබන, නොමිලේ දැනුම ලබාදීමේ ප්‍රතිපත්තිය නිසා Wikipedia වෙබ් අඩවිය තුළ අන්තර්ජාල දැන්වීම් පළ කිරීමට අවසර නොමැති අතර, මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘවරයෙක් වන ජිමී වේල්ස් එලෙස මුදල් උපැයීම ප්‍රතික්ෂේප කිරීම නිසා ගෞරවාදරයට පාත්‍ර වී තිබේ. Wikipedia හි සංවර්ධනය සඳහා මූල්‍ය දායකත්වය ලැබෙනුයේ Wikimedia Foundation වෙත ආධාර ලෙස ලැබෙන මුදල් වලිනි.

2006 දී සුප්‍රකට Times සඟරාව Wikipedia හි ඕනෑම කෙනෙකුට සංස්කරණය කිරීමට ඉඩ දීමේ විවෘත ප්‍රතිපත්තිය නිසාම එය ලෝකයේ විශාලතම හා හොඳම විශ්වකෝෂය බවට පත් වී ඇති බවට වාර්තා කරන ලදී. ඇතැම් විචාරකයින් Wikipedia හි ලිපි Britannica විශ්වකෝෂයට පවා අභියෝගයක් වනු ඇති බවත් සඳහන් කර ඇත. ලිපි හා අනෙකුත් විශේෂාංග වල අන්තර්ගතය, අඛණ්ඩ සංවර්ධනය සහ වාණිජමය නොවන භාවය පදනම්ව, එහි ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීමේ උත්සාහයන් නිසාම Wikipedia ව්‍යාපෘතියේ කීර්තිය තවදුරටත් වර්ධනය විය. තවද පරිශීලකයන් හට Wikipedia හි සඳහන් තොරතුරු නොමිලේ download කරගැනීමට පවා අවස්ථාව සලසා දී තිබේ.

Wikipedia වෙන් ලෝකයා හට ලැබෙන මෙහෙවර අතිමහත් වුවද යම් යම් කරුණු හේතුවෙන් ඇතිවන විවේචන ද නැතුවාම නොවේ. ඇතැම් විචාරකයින් Wikipedia විශ්වකෝෂයන්හි අඩංගු කරුණුවල නිරවද්‍යතාවය, පරිපූර්ණ බව හා සමබරතාව සම්බන්ධයෙන් චෝදනා යොමු කරන අතර සංස්කාරකයින් අතර ඇති ස්ත්‍රී-පුරුෂ භේදය වැනි ගැටළු පවතින බව වාර්තා කරයි. මේ නිසා Wikimedia Foundation ආයතනය කාන්තා කතුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට සහ කාන්තා මාතෘකා ආවරණය වැඩි කිරීමට දිරිමත් කරයි. ඕනෑම කෙනෙකුට සංස්කරණය සඳහා විවෘත බව නිසා සමහර පුද්ගලයින් හා සමාගම් වාණිජමය හා පෞද්ගලික අරමුණු පදනම් කරගෙන තමාට පක්ෂපාතී ලෙස ලිපි සංස්කරණය කිරීම හා ව්‍යාජ තොරතුරු පළකිරීම Wikipedia වෙත එල්ලවන විශාල අභියෝගයක් වන අතර, එවැනි කූට සංස්කාරකයින් ගෙන් Wikipedia විශ්වකෝෂය ආරක්ෂා කිරීමට පරිපාලකයින් මහත් උත්සාහයක් දරයි. මේ සඳහා සහාය වීමට 2018 දී Wikipedia ලිපි වලට නිවැරදි මූලාශ්‍ර සබැඳි යෝජනා කිරීම මගින් ව්‍යාජ පුවත් හුවමාරු වීම වැළැක්වීමට පරිශීලකයින්ට උදව් කරන බව Facebook සමාගම සහ Google සමාගමට අයත් YouTube අඩවිය නිවේදනය කළේය. Wikipedia හි තොරතුරු වල පරිපූර්ණත්වය වර්ධනය කිරීම සඳහා ලෝකයේ විවිධ විශ්වවිද්‍යාල හා MIT (Massachusetts Institute of Technology) වැනි තාක්ෂණ විද්‍යාල වල සිටින විද්‍යාර්ථයින්ගේද සහයෝගය ලැබේ.

Wikipedia හි 20 වන උපන්දිනයට අපගේ සුබපැතුම්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *