ඇමෙරිකාවේ කෘත්‍රිම බුද්ධි නිමැවුම් සමාගමක් වෙන ඇන්ත්‍රොපික් සමාගම විසින් නිර්මාණය කරන ලද ක්ලෝඩ් කෘත්‍රිම බුද්ධි වැඩසටහනේ ඩෙස්ක්ටොප් ඇප් යෙඳුම දැන් නොමිලේ ලබා ගන්න පුලුවන්. (claude.ai/download) වින්ඩෝස් සහ මැක් පරිගණකවලදී භාවිතා කළ හැකි මෙම ඇප් එක මඟින් එහි ඔන්ලයින් ඇප් එකෙන් කර ගත හැකි වැඩ බොහොමයක්ම කර ගන්න පුලුවන්.
පසුගිය 2024 ඔක්තෝබර් 22 වැනිදා ප්‍රසිද්ධ කළ ක්ලෝඩ් කෘත්‍රිම බුද්ධි අලුත්ම සංස්කරණයෙහි තිබූ හොඳම විශේෂාංගය, පරිගණකය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කළ හැකිවීමයි. පරිගණකය දෙස බැලූ සැණින් එය ක්‍රියාත්මකවීමේ පටන්, කර්සරය හැසිරවීම, බොත්තම් ක්‍රියාත්මක කරවීම, විවිධ ෆෝම් පිරවීම පිණිස දත්ත ඇතුළු කිරීම යනාදී වැඩ ඉන් කළ හැකි උනා. එසේම ප්‍රශ්න අසා, පරිගණකයේ ඇති ලියවිලි පාදක කර ගෙන පිළිතුරු ලබා ගැනීම, කලින්කළ සංවාද වෙත පිවිසීම යනාදිය කරන්න පුලුවන්.
ක්ලෝඩ් චැට් බොට් වැඩසටහනත්, ඕපන් ඒඅයි සමාගමේ ChatGPT, Perplexity සමාගමේ කෘත්‍රිම බුද්ධි සර්ච් එන්ජිම, (perplexity.ai) මයික්‍රොසොෆ්ට් සමාගමේ Copilot වැඩසටහන යනාදිය වැනි, LLM හෙවත් large language model මාදිලියටද අයත් වෙන කෘත්‍රිම බුද්ධි වැඩසටහනක්. සාමාන්‍ය ස්වභාවික භාෂා හා සම්බන්ධ කටයුතු එමඟින් කළ හැකිවීම, එල් එල්ඵම් ආකෘතියේ විශේෂත්වයයි. එනම්, යම් දත්ත ගබඩාවක ඇති ස්වභාවික භාෂාවකින් ලියා ඇති වාක්‍ය ඛණ්ඩ හඳුනා ගත හැකිවීමයි. ඒවගේම දත්ත ගබඩාවකින් සොයා ගන්නා දත්ත උපයෝගී කර ගෙන අලුත් වාක්‍ය ඛණ්ඩ ජනනය කළ හැකිවීමයි.
එසේම ක්ලෝඩ් කෘත්‍රිම බුද්ධි මාදිලිය, ජීපීටී (GPT – Generative Pre-trained Transformer) වර්ගයට අයත් වෙනවා. දත්ත සමුදා පීරා, තොරතුරු රැස් කර ගන්නා මෙම කෘත්‍රිම බුද්ධි මාදිලිය, එතැනින් නොනැවතී එම තොරතුරු මිනිස් භාෂාවේ ඌරුවෙන් එකලස් කර රචනාවක් සේ ඉදිරිපත් කරනවා. දැන් ක්ලෝඩ් වෙත සම්පූර්ණ පොතක් වුවත් ඇතුළු කර ඒ ඇසුරෙන් ප්‍රශ්න අසා පිළිතුරු ලබා ගන්නත්, සාරාංශ ලබා ගන්නත් පුළුවන්.
මෙම හැකියාව ලබාදීම පිණිස ක්ලෝඩ් වැඩසටහන පුරුදු කරනු ලැබූයේ, අන්තර්ජාලය ඔස්සේ පිවිසිය හැකිව තිබූ නොයෙක් ලියවිලි ඇසුරින්. මෙසේ පුරුදු කරනු ලැබූයේ, වාක්‍යයක වචන කීපයක් හඳුනාගත් විට ඉන් ඉදිරියට ඇති වචන මොනවාදැයි අනුමාන කිරීමටයි. මෙම ගති ඇති ක්ලෝඩ් කෘත්‍රිම බුද්ධි මාදිලිය, 2023 මාර්තු මාසයේදී මුලින්ම ප්‍රසිද්ධ කළාට පසුව, මේ දක්වා එහි සංස්කරණ ගණනාවක් එළි දක්වා තිබෙනවා. ඒ සියල්ල දියුණු කර තිබෙන්නේ එම මාදිලියේ ගණිතමය ආකෘතිය, ක්‍රමලේඛ ස්වරූපය සහ තාර්කික හැසිරීම නිරන්තරයෙන් වැඩි දියුණු කරමින්.
මෙම වැඩ කරන ඇන්ත්‍රොපික් සමාගම පිහිටුවා ගනු ලැබූයේ, කෘත්‍රිම බුද්ධි යෙඳුම් පිළිබඳ ඇමෙරිකාවේ පුරෝගාමී විද්‍යාඥයෙක් වෙන ඩාරියෝ අමොදී සමඟ ඔහුගේ සොහොයුරිය වෙන කෘත්‍රිම බුද්ධි පර්යේෂිකා ඩැනියෙලා අමොදී විසින්. මේ දෙදෙනා කලින් ඕපන් ඒ අයි සමාගමේ වැඩ කර තිබෙනවා. එහි කටයුතු නොරිස්සු නිසා පසුව ඉන් ඉවත් උනා. ජාත්‍යන්තර ටයිම් සඟරාව, 2023 වසරේ ලෝකයේ කෘත්‍රිම බුද්ධි පර්යේෂණ ඔස්සේ ලෝකයාට බලපෑම් කළ හැකි සිය දෙනාගේ ලැයිස්තුව ප්‍රසිද්ධ කරන විට, එහි මුලින්ම සිටියේ මේ දෙදෙනායි.














Leave a comment