අද කාලේ දුරකථන , පරිගණක වැනි උපාංග අපගේ ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත්වෙලා තියෙනවා . අධ්‍යාපනයට , රැකියාවට, සන්නිවේදනයට මෙම උපාංග අවශ්‍ය වෙනවා. එහෙත්, මෙම තාක්ෂණික උපකරණ නිසා අප නොදැනුවත්වම ඒවායේ මානසික වහලුන් බවට පත්වෙමින් ඉන්නවා. පැය ගණනක් තිස්සේ තිරයක් දෙස බලාගෙන සිටීම, සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වීම සහ දුරකථනයට ජීවිතයෙ මූලික හා ප්‍රධාන තැනක් ලබා දීමට පෙළඹීම අපගේ මානසික නිදහසට විශාල බාධාවක් වෙලා තියෙනවා.
මෙම ඇබ්බැහිවීම් නිසා ඇති වන නරක ප්‍රතිඵල බොහෝය. නින්ද නොයාම, හිසේ කැක්කුම, ඇස්වල අපහසුතාවය , නිතර තරහා යෑම සහ මානසික පීඩනය වැනි ගැටළු ඇතිවෙයි. විශේෂයෙන්ම ඉගෙන ගන්න පාසල් සිසුන් අතර මෙය විශාල ගැටළුවක් බවට පත්වෙලා තියෙනවා. සිසුන් රාත්‍රියේ නින්දට නොයා මධ්‍යම රාත්‍රියත් පසුවී දුරකථනය භාවිතා කිරීම නිසා ඇතිවන තෙහෙට්ටුව , මානසික අවුල් නිසා දිවා කාලයේ පාසලේ උගන්වන දෑ අමතක වන , ඉගෙනීමේ හැකියාව පහත වැටී ඇති ශිෂ්‍ය පරම්පරාවක් නිර්මාණය වෙමින් තියෙනවා. මීට අමතරව, සැබෑ භෞතික මිනිස් සබඳතා දුර්වල වීම, තනිකම සහ මානසික පීඩනය වැඩි වීමට ද මෙය හේතු වෙනවා.

එබැවින්, තාක්ෂණය අපගේ මානසික නිදහසට බාධා නොවන අයුරින් භාවිතා කල යුතුය. දිනකට තිරය දෙස බලන කාලය සීමා කිරීම, නිදන කාමරයට දුරකථන රැගෙන නොයාම, ස්වභාවධර්මය සමග වැඩි කාලයක් ගත කිරීම, සහ පවුලේ අය හා මිතුරන් සමග නිතර කතා කිරීම වැනි සරල පුරුදු අපට මානසික නිදහස ලබා දීමට උපකාර වෙනවා. තාක්ෂණය අපගේ සේවකයා විය යුතු වුවත් , තාක්ෂණයට අපව පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය. අපගේ මනස සහ ඉදිරි ජීවිතය රැක ගැනීමේ වගකීම අපේම රාජකාරියක් වේ. විශේෂයෙන්ම කුඩා ඉගෙන ගන්න ලමුන්ට සීමා සහිතව මව්පිය අධීක්ෂණයක් යටතේ දුරකථනය භාවිතයට ලබා දෙමු. අප මෙන්ම මෙම උවදුරෙන් අණාගත පරම්පරාව රැක ගැනීම අපගේ යුතුකමයි.














Leave a comment