Home Tech News Events E-Sports ප්‍රවර්ධනය වෙනුවවන් සිංගර් ශ්‍රී ලංකා, Maximum E-sports සමග අත්වැල් බැඳගනී
EventsTech News

E-Sports ප්‍රවර්ධනය වෙනුවවන් සිංගර් ශ්‍රී ලංකා, Maximum E-sports සමග අත්වැල් බැඳගනී

Share
blank
Share

සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් දේශීය සයිබර් කුසලතාවන් වර්ධනය කිරීමේ සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ක්‍රීඩා ආශ්‍රිත සමස්ත ප්‍රමිතීන් ඉහළ නැංවිම වෙනුවෙන් මෙරට අන්තර්ජාල ක්‍රීඩා ආශ්‍රිත විශාලත ම ක්‍රීඩා සමාජය වන  ‘Maximum E-sports’ සමග සහයෝගීතාවකට එළඹිණි. මෙම සහයෝගීතාව හරහා ශ්‍රී ලංකාව තුළ වඩා තරඟකාරී සහ සංවිධානාත්මක  E-sports ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීම හා එය ජාත්‍යන්තර තළයට ගෙන යාම සිංගර් සමාගමේ අරමුණයි.

මෙම හවුල්කාරිත්වයට සමගාමීව කණ්ඩායම් 12ක් තරඟ වදින ‘සිංගර් E-sports ප්‍රිමියර් ලීග්’ තරඟාවලිය සඳහා සිංගර් සමාගම අනුග්‍රහය දක්වන අතර, එහි දී ලබා දීමට නියමිත ත්‍යාගවල වටිනාකම රුපියල් මිලියනයකි. ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) සහ ක්‍රීඩා අමාත්‍යාංශය E-Sports ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ නිල ක්‍රීඩාවක්  ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, එම ක්‍රීඩාව  සඳහා නිල අනුග්‍රහය ලබාදීමට සිංගර් සමාගම ඉදිරිපත් වූ අතර, එමගින්  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට ද මෙම ක්‍රීඩා ක්ෂේත්‍රය ඔස්සේ ජාත්‍යන්තර තළය දක්වා ගමන් කිරීමේ සහයෝගය ලබා දීම එම සමාගමේ අරමුණයි. එමෙන් ම 2022 වසරේ දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී E-Sports, පදක්කම් වර්ග 8 කින් යුත් ක්‍රීඩා ඉසව්වක් ලෙස ආරම්භ වීමට නියමිත ය.

මෙහි දී අදහස් දැක් වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කළේ ය. ” Maximum E-sports සමාජය සමග අත්වැල් බැඳ ගැනීමට හැකිවීම පිළිබඳව අපි ඉතා සතුටට වෙනවා. ක්‍රිකට්, රග්බි සහ අනෙකුත් දේශීය ක්‍රීඩාවන් සවිබල ගැන්වීම සඳහා සහයෝගය ලබාදීම අතින් සිංගර් මාගම ඉදිරියෙන් ම සිටිනවා. අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන වීඩියෝ ක්‍රීඩා ආශ්‍රිතව අනාගතයේ දී බිහිවන අසීමිත අවස්ථාවන් ගැන අපි ඉතා හොඳ අවබෝධයකින් යුක්තයි. ඒ වගේ ම මේ රටේ තාරුණ්‍යයේ අවශ්‍යතා ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින  සමාගමක් විදියට අපගේ මෙම අනුග්‍රාහකත්වය මගින් ශ්‍රී ලාංකික තරුණ පරපුර  ශක්තිමත්ව බලගැන්වීමට හැකි වේ යැයි මම විශ්වාස කරනවා. 2021 වසරේ SLIM ජනතා සම්මාන උළෙලෙහි දී තාරුණ්‍යයේ සන්නාමය විදියට සිංගර් සන්නාමය තේරී පත් වීම, අප තාරුණ්‍යය වෙනුවෙන් සිදුකරන මෙහෙවර  ඔවුන් අගයන බවට ලැබුණු සහතිකයක් විදියට මම දකිනවා. ඒ වගේ ම මෙම නව සහයෝගීතාව අපගේ එම මෙහෙවර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා  ලැබුණු උත්තේජනයක්.”

Maximum E-Sports යනු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බහු ක්‍රීඩා E-sports ක්‍රීඩා සමාජයක්  වන අතර, එය 2008 වසරේ දී ආරම්භ කරන ලද සංවිධානයකි. එමෙන් ම එය සියලු ම වයස්වල සහ විවිධ කුසලතා මට්ටම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත, තරඟකාරී ක්‍රීඩා සමාජයකි. ඊට අමතරව එම ක්‍රීඩා සමාජය අවම පළපුරුද්දක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට  ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන්  ඉගෙනීම සඳහා අවස්ථාව ලබා දෙන බව ද පැවසිය යුතු ම කරුණකි. මේ වන විට කණ්ඩායම් වශයෙන් වීඩියෝ ක්‍රීඩාවල නිරතවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6,000 ක් පමණ Maximum E-Sports සමග සම්බන්ධ වී සිටින අතර, ඔවුන්  තරඟාවලි ජයග්‍රහණ ගණනාවක් ලබා ඇති බව ද සඳහන් කළ යුතුම ය.

Maximum E-Sports සමජයේ නිර්මාතෘ සහ සම හිමිකරු වන ශිහාන් මොරායිස් මහතා අදහස් දැක්වූයේ මේ යුරිණි. ”  E-Sports ක්ෂේත්‍රය වර්තමානය වන විට අඛණ්ඩව දියුණු වෙමින් පවතින ක්‍රීඩා ක්ෂේත්‍රයක්. එම ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ නිල ක්‍රීඩාවක් විදියට පිළිගැනීමට ලක්වීමෙන් පසුව සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රාහකත්වය ලැබීම ඇත්තටම සතුටට කරුණක්. ඒ වගේ ම E-Sports ක්‍රීඩාව ප්‍රධාන ගෝලීය ක්‍රීඩා ඉසව්වක් විදියට ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, එම ක්‍රීඩා ඉසව්ව හරහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටත්, අපගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමෙන් වර්ධනය කරගැනීමටත් අවස්ථාව ලැබෙනවා. අපගේ හැකියාවන් හඳුනා ගැනීම ගැන අපි සිංගර් ශ්‍රී ලංකා සමාගමට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේ ම මෙම අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් අපගේ දක්ෂතා වර්ධනය කර ගැනීමටත්, එමගින් ශ්‍රී ලංකා මාතාව ජයග්‍රහණ වලින් සැරසීමටත් අපි උපරිමයෙන් කැප වෙනවා.”

ලොව පුරා වේගයෙන් වර්ධනය වන විනෝදාස්වාද මාධ්‍යක් වන  E-Sports ක්‍රීඩාව 2021 වසරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 180 ක පුරෝකථන වටිනාකමක් වාර්තා කිරීමට සමත් විය. මෙම ක්‍රීඩාවල නිරතවන්නන්ගේ  මෙන් ම නරඹන්නන්ගේ ද නිරන්තර වර්ධනයක් දක්නට ලැබෙන අතර, ලොව පුරා ක්‍රීඩකයින් බිලියන 2 ක් මෙම ක්‍රීඩා වල නිරත වෙයි. එය ලෝක ජනගහනයෙන් 25%ක ට වැඩි ප්‍රතිශතයක් ලෙස දැක්විය හැකිය. එමෙන් ම E-Sports ආසියා පැසිෆික් කලාපය තුළ විශාලත ම ක්‍රීඩක පදනමක් සහිත මෙන් ම වැඩි ම ආදායමක් උත්පාදනය කරන ක්ෂේත්‍රයක් ලෙස හැඳින්විය හැකි ය.

සිංගර් ශ්‍රී ලංකා සමාගම Dell, Asus, Alienware, MSI වැනි ලොව කීර්තිමත් තාක්‍ෂණික සන්නාමයන් සමග එක්වෙමින් වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියා කරන අතර, එමගින් මෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය බැඳීම් ශක්තිමත් කිරීමට ද අරමුණු කරයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...