Animal Well යනු, තමන්ට ලැබෙන අභියෝගවලට මුහුණ දෙමින්ද, ඉදිරිපත් කරන ප්‍රහේලිකාවලට විසඳුම් සොයා යමින්ද, ක්‍රීඩා කළ හැකි සාම්ප්‍රදායික නොවෙන අලුත් පරිගණක ක්‍රීඩාවක්.
මෙම පරිගණක ක්‍රීඩාව වෙනත් බොහෝ පරිගණක ක්‍රීඩා මෙන් කතා තේමාවක් මත ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ක්‍රීඩාව ක්‍රියාත්මක වෙන අතරතුරදී විවිධ ගැටලු සහ අභියෝග මෙන්ම ප්‍රහේලිකා යනාදිය විසඳීමට පරිගණක ක්‍රීඩකයාට අවස්ථාව ලබාදීම ක්‍රීඩාවේ ස්වරූපයයි.
මෙහිදී පරිගණක ක්‍රීඩකයාට මෙහෙයවීමට ලැබෙන්නේ කුඩා රවුමක හැඩය ඇති ජීවියෙක්. ක්‍රීඩාවේ යෙදෙන අවස්ථාවලදී ලැබෙන පරිසරය තුළ වේගයෙන් වමට සහ දකුණට ගමන් කළ හැකි එම ජීවියාට ඉහළට පැනීමටද පුළුවන්. පරිගණක යතුරු පුවරුව හරහා වුවත් මෙම ජීවියා පාලනය කළ හැක. Animal Well ක්‍රීඩාව, විවිධ මට්ටම් හෙවත් ලෙවල්ස් යටතේ ක්‍රීඩා කළ යුතුයි.
ආරම්භයේ සිට ක්‍රීඩා කරන ආකාරය අනුව ක්‍රමයෙන් ඉහළ මට්ටම් වෙත ගොස් ක්‍රීඩා කළ හැකියි. ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන විට විවිධ වස්තු එකතු කර ගැනීමට පුළුවන්. ඒ ඒ වැඩවලට වෙන් වෙන් වශයෙන් ලකුණු ලැබෙනවා.
විවිධ පරිසර හරහා මෙම ක්‍රීඩාව ක්‍රියාත්මක වෙනවා. නිවාස, ගොඩනැගිලි, අඳුරු ගුහා, භූගත උමං මාර්ග වැනි ස්ථාන මෙන්ම කැලෑ ප්‍රදේශ, ජලාශ යනාදිය ඔස්සේ යමින්, ඒ ඒ අවස්ථාවලදී ලැබෙන ප්‍රහේලිකා විසඳිය යුතුයි. ප්‍රහේලිකාවක් විසඳමින් ජයග්‍රහණයක් ලබා ගත් විට එය තිරයේ පෙන්වමින් දැනුම් දෙනු ලබනවා. ක්‍රීඩාවේ බොහෝ තැන්වලදී නොයෙක් ජාතියේ සත්තු හමු වෙනවා. ඇතැම් සත්තු, පරිගණක ක්‍රීඩකයා විසින් පාලනය කරනු ලබන ජිවීයාට බියවී පළා යතත්, බොහෝ සත්තු එන්නේ කුඩා ජීවියා ගොදුරු කර ගැනීමටයි. මේ ගැන අවධානයෙන් සිට කුඩා ජීවියා ඔවුන්ගෙන් ආරක්ෂා කර ගත යුතුයි.
මෙය ද්විමාන ආකාරයේ සරල ග්‍රැෆික් නිර්මාණ සහිතව ගොඩනගා ඇති පරිගණක ක්‍රීඩාවකි. රූප සියල්ල පික්සෙල් වලින් නිර්මාණය වී ඇත්තාක් සේ පෙනෙන පරිදි මෙම ඇනිමල් වෙල් ක්‍රීඩාවේ අංග නිර්මාණය කර තිබෙනවා. මෙහි ඇති සජීවීකරණ ද ඉතා සරලයි. එහෙත් ක්‍රීඩාවේ තාක්ෂණය ඉතා දියුණුය. මෙහි ලබා දෙන ගැටලු විසඳීම පහසු නැහැ.
ක්‍රීඩා පසුතලය වෙනුවෙන් යොදා ගෙන ඇති වර්ණ, ක්‍රීඩා අවස්ථාවට සහ පරිසරයට හොඳින් ගළපා තිබෙනවා. ත්‍රාසජනක අවස්ථා මතු වෙන විට එය හඟවන සේ වර්ණ රටාව මෙන්ම හැඩතලද වෙනස් වෙන සේ ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා. එනිසා ක්‍රීඩාවේ උද්වේගකර අවස්ථා ක්‍රීඩකයාට අත්විදීමට පුළුවන්. මෙහි කිසිදු දෙබසක් යොදා ගෙන නැහැ. ක්‍රීඩාව ක්‍රියාත්මක වෙන විට පසුබිමින් සියුම් සංගීත නාද පමණක් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.














Leave a comment