Home Tech News Events Sir Clive Sinclair මෙලොවින් සමුගනී
EventsTech News

Sir Clive Sinclair මෙලොවින් සමුගනී

Share
blank
Share

එක්සත් රාජධානියේ මෙතෙක් සිටි නවෝත්පාදකයින්ගෙන් කෙනෙකු ලෙස හඳුන්වන Sir Clive Marles Sinclair පසුගිය සැප්තැම්බර් 16 දින මෙලොවින් සමුගත්තේය. දශකයකටත් වැඩි කාලයක් පිළිකා රෝගයට එරෙහිව සටන් කරමින් සිටි ඔහු මිය යන විට 81 හැවිරිදි වියේ පසුවිය.

blank
Sinclair founder Sir Clive Sinclair holds up a Sinclair ZX Spectrum 128 home computer, United Kingdom, 1986. (Photo by Dick Barnatt/Getty Images)

මිය යන තෙක්ම ඔහු තමන්ගේ නිර්මාණ වැඩිදියුණු කිරීමට වැඩ කළ ආකාරය සිහිපත් කරමින් ඔහුගේ දියණිය වන Belinda Sinclair BBC පුවත් සේවයට පැවසුවේ ඔහු එසේ වැඩකිරීමෙන් වඩාත් ප්‍රීතියට පත් වූ බවයි.

Clive Sinclair, එක්සත් රාජධානියේ ප්‍රකට තාක්ෂණ සමාගම් වූ Sinclair Radiotronics Ltd. හා Sinclair Research Ltd. යන සමාගම් ආරම්භ කිරීමට මුල් වූ අතර එරට මෘදුකාංග ඉංජිනේරු ක්ෂේත්‍රයේ හා විශේෂයෙන් පරිගණක ක්‍රීඩා නිර්මාණකරණයේ විප්ලවයක් සිදුකළ පුද්ගලයෙක් ලෙස සැලකේ.

වර්ෂ 1940 ජූලි 30 දී එංගලන්තයේ Surrey ප්‍රාන්තයේ Richmond හි උපත ලැබූ Clive Sinclair පාසල් කාලයේ සිටම විවිධ උපාංග නිපදවීමට අත්හදා බැලීමට ප්‍රිය කර අතර, ඔහු තම පළමු සමාගම Sinclair Radiotronics Ltd. ලෙස ආරම්භ කළේය. එම සමාගම ගුවන්විදුලි උපාංග, ගණක යන්ත්‍ර, කුඩා රූපවාහිනී යන්ත්‍ර වැනි ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදන වෙළදපොළට නිකුත්කරන ලදී. විශේෂයෙන් Sinclair Executive නම් සාක්කු ගණක යන්ත්‍රය නිසා මහජනයා අතර Sinclair සන්නාමය ඉතා ජනප්‍රිය විය.

නමුත් කළමනාකරණ ගැටළු නිසා එම සමාගම වැඩි කලක් නොපැවතුණු අතර, අනතුරුව ඔහු හිටපු සගයෙකු වූ Chris Curry හා ඔහුගේ Science of Cambridge නම් කුඩා ඉලෙක්ට්‍රොනික සමාගම හා එක්ව අදාළ ආයතනය පවත්වාගෙන ගිය අතර පසුව ඔවුන් එය Sinclair Research Ltd. ලෙස වෙනස් කරන ලදී.

Sinclair Research සමාගමේ එක් පළමු නිපැයුමක් වූයේ Sinclair ZX80 නම් කුඩා පරිගණකයයි. එය කට්ටල ලෙස පවුම් 80 කට මිලදී ගත හැකි, තාක්ෂණික ලොලී පිරිස් අතර ඉතා ජනප්‍රිය උපාංගයක් විය. ඉන්පසුව නිකුත් වූ ZX81 නම් මාදිලිය ද ඉතා සාර්ථක නිෂ්පාදනයක් විය.

Sinclair නාමය එක්සත් රාජධානියෙන් එපිට ලොව පුරා අවධානයට පාත්‍ර වීමට ඔවුන්ගේ ZX Spectrum පරිගණකය හේතු වූ අතර මිලියන 5 ක් පමණ උපාංග ලොව පුරා අලෙවි විය. 1982 අප්‍රේල් මස 23 නිකුත් කළ මෙම උපාංගය, එකල වෙළදපොළේ Commodore Inc. සමාගමේ Commodore 64 මෙන්ම British Broadcasting Corporation හා Acorn Computers සමාගම් එක්ව නිර්මාණය කළ BBC Micro පරිගණක සමඟ කරට කර තරඟ කළ හැකි පරිගණකයක් ලෙස ZX Spectrum හැඳින්වුණි. Zilog Z80A මධ්‍ය සැකසුම් ඒකකයක් සමඟ 3.5 MHz ක clock speed එකක් සහිත මෙම පරිගණකය 16KB, 48KB හා 128KB RAM මතක ප්‍රමාණ සහිත මාදිලි වලින් ලබාගත හැකිවූ අතර පවුම් 125 – 175 අතර මිලකට එකල අලෙවි විය.

එමෙන්ම Raspberry Pi පරිගණකය හඳුන්වා දෙන තුරු ලොව පුරා විශාල වශයෙන් අලෙවි වූ එක්සත් රාජධානියේ නිෂ්පාදිත පරිගණක මාදිලිය යන වාර්තාවට හිමිකම් කීවේ මේ Sinclair ZX Spectrum පරිගණකයයි.මේ සාර්ථකත්වය නිසාම 1983 දී, එවක එක්සත් රාජධානියේ අග්‍රාමත්‍ය Margaret Thatcher ගේ නිර්දේශය මත Clive Sinclair ට නයිට් පදවියක් හිමි විය.

ඉන්පසුව Clive Sinclair බොහෝ නව නිපැයුම් සිදුකළ ද ඒවා වාණිජමය වශයෙන් එතරම් සාර්ථක නොවූ අතර Sinclair ZX Spectrum මෙන් ජනප්‍රියත්වයට සමීප වූයේ නැත. කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨ නව නිපැයුම්කරුවෙක් ලෙස Sinclair යන නාමය එක්සත් රාජධානියේ පමණක් නොව ලොව පුරා සිටින තාක්ෂණ ලෝලීන්ගේ මතකයේ සැමදා රැඳෙනු ඇත.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...